Wednesday, March 31, 2021

ශ්‍රී ලංකා‍වේ බුදු පිළිම ඉරියව්,ආසන හා මුද්‍රා

 බුදු පිළිම

ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගණයේ බුදු පිළිම දක්නට  ලැබෙන්නේ ශ්‍රි ලංකාවෙනි. ලංකා බුදු පිළිමය ආන්ද්‍ර ශෛලියේ ආභාසය ලබා ප්‍රභවය වූවක් බව  පිළිගැනීමයි.එසේ වුවද බුදු පිළිමය මුලින්ම පහල වූයේ භාරතයේ නොව ශ්‍රී ලංකාවේ යැයිද එහෙයින් එය ස්වාධීන කෘතියක් යැයි සිතන්නෝද වෙති. සිංහල බුද්ධ ප්‍රතිමා ශිල්පීහු සිය නිර්මාණයන්ට දේශීයත්වය සමාන කළහ. මුල් යුගයේ සිට දහ වැනි සියවස දක්වා ශ්‍රී ලංකාවේ නෙළන ලද බුදු පිළිම වලින් අධික සංඛ්‍යාවක් සිංහල නිර්මාණ ශිල්පීන්ගේ යැයි  හැඳින්වීමට ප්‍රමාණවත් දේශීය ලක්ෂණ වලින් පරිපෝෂිතය. මුල් අවධියේ ලක්දිව බුදු පිළිම වලට මහායාන ආභාසය ලැබී ඇත්තේ අල්ප වශයෙනි.මෙයට ප්‍රබල හේතුව එකල අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය අතිශයින් ප්‍රබලව පැවතීමය. මහා විහාර සම්ප්‍රදාය මහායානය දැඩිව ප්‍රතික්ෂේප කළේය. පොළොන්නරු අවධියේ සිට මහායාන බලපෑම වැඩි වශයෙන් සිදු වීම නිසා බුදු පිළිමය විෂයෙහිද ඒ ආභාසය දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ප්‍රතිමා වල විදේශීය ලක්ෂණද දක්නට ලැබේ.ශ්‍රී ලංකාවේ නිමැවුණු බුදු පිළිම ඒවායේ ඉරියව් අනුව ප්‍රධාන කොටස් තුනකට වෙන් කළ හැකිය.එනම්;

1.හිඳි පිළිම

2.හිටි පිළිම

3.සැතපෙන පිළිම

ඉරියව්

  • හිඳි පිළිම

වාඩිවී සිටින ඉරියව්ව නොහොත් සමාධි ගත වී සිටින ඉරියව්ව මෙයට අයත් වේ.

උදා:- තොලුවිල බුදු පිළිමය

  •  හිටි පිළිම

ප‍්‍රධාන ලෙස කොටස් තුනකි.

සම භංග - ඍජු කිසි දෙසකට නොනැමුණු 

උදා:-අවුකන  බුදු පිළිමය


ආ භංග ක‍්‍රමය-එක් පැත්තකට නැමුණු

උදා:- රැස්වෙහෙර පිළිමය



ත‍්‍රි භංග ක‍්‍රමය-දණහිස, ඉන, බෙල්ල, යන ස්ථාන තුනෙන් නැමුණු යන අදහස දෙනු ලබය්.

උදා:- තිවංක පිළිමය



  • සැතපෙන පිළිම

සැතපෙන ඉරියව්වෙන් සිටිනා පිළිම මෙයට අදාළ වේ.

උදා:- පොලොන්නරුව ගල් විහාර පිළිමය.


ආසන

මෙයින් අදහස් වන්නේ බුදු පිළිමයේ දෙපා තබා තිබෙන ආකාරයයි.එ අනුව;

  • පද්මාසන
  • වීරාසන
  • භද්‍රාසනය

පද්මාසනය

පද්මාසනයක් ආකාරයට ඉදගැනීම මෙයින් අදහස් වේ. මෙහි ඉරියව් ලෙස දනහිස් නමා පතුල් උඩු අතට හැරුනු පරිදි දකුණු පාදය වම් කලවයට උඩින් ද වම් පාදය දකුණු කලවයට උඩින් ද සිටින ආකාරයෙන් හිදීම පද්මාසනයයි.

 වීරාසනය

වම් පාදය දකුණු පාදය යටින් හා දකුණු වම් පාදය උඩින් සිටින අයුරින් තබා හිද ගැනීම වීරාසනයයි.

උදා :- පොලොන්නරුව ගල් විහාර හිදි පිළිමය

භද්‍රාසනය

තරමක් උසට තනන ලද විශේෂ ආසනයක් මත හිද කලවා දෙපසට විහිදුවා ආසනයෙන් පහතට වැටෙන පා දෙක පීඨයක මත සිටිනා අයුරින් දැක්වෙන්නේ භද්‍රාසනයයි.

උදා:-අම්බලන්තොට රිදියගම විහාර පිළිමය

 

මුද්‍රා 

මුද්‍රා වලින් සිදුවන්නේ යම්කිසි අදහසක් ලබා දීමයි.මේ අයුරින් මුද්‍රා කිහිපයකි.එනම්,

  • අභය මුද්‍රාව

මෙම මුද්‍රාව හිටි පිළිම වල දැකීමට හැකිය. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල බැතිමතා දෙසට විවෘතව තිබීම දැකිය හැකිය මෙයින් අදහස් කෙරෙනුයේ සියලූ දෙනා හට බුදුන් වහන්සේගේ ආරක්ෂාව පිහිට ලැබෙන බවය.

උදා :- අවුකන බුදු පිළිමය රුස්වෙහෙර බුදු පිළිමය

  • විතර්ක මුද්‍රාව

මෙයද බුදු පිළිම වල බොහෝසේ දක්නට ඇත. විතර්ක මුද්‍රාව, කටක මුද්‍රාව, ව්‍යාඛ්‍යාත මුද්‍රාව, ඥාන මුද්‍රාව, සන්දර්ශන මුද්‍රාව, හැවින් මුද්‍රාව යන නම් වලින් ද හැදින්වේ. මෙහි ඉරියව්ව ලෙස අත්ල පසු පස පදෙසට ප‍්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නමා දබර ඇගිල්ල මා පටගිල්ල උඩට කවයක් ඇතිවන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණ වේ. මෙයින් කිසියම් ධර්ම ගැටලූවක් විසදන ආකාරය කියවේ.

උදා :- පන් කුලිය පිළිමය

  • ධර්ම චක‍්‍ර මුද්‍රාව

මෙය බෙහෙවින් ජනප‍්‍රිය මුද්‍රාවකි. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබා ගෙන එහි දබර ඇගිල්ලේ හා මාපටගිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුලට හැරවුණු වම් අතේ ඇගිල්ලක් ස්පර්ශ කරන අයුරින් තබා සිටීම මෙහි ක‍්‍රමයයි. මෙයින් අර්ථ ගැන්වෙන්නේ බුදුන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනය පැවැත්වූ අයුරුයි.

උදා :- රංගිරි දබුළු පිළිමය

  • සමාධි මුද්‍රාව

ලාංකික බුදු පිළිමවල බහුලව හමුවන මුද්‍රාවකි. මෙය හිදි පිළිම වල පමණක් දක්නට ලැබේ. මෙහි ඉරියව් ලෙස වීරාසන හෝ පද්මාසන ශෛලියෙන් හිද උඩ අතට විවෘත කළ වම් අත්ල උඩ දකුණු අත්ල පිහිටා සිටීම ධාන්‍ය මුද්‍රාව වශයෙන් හැදින්වේ. මෙයින් අධ්‍යාමික ලක්ෂණ පෙන්වයි. ශාන්ත බව සන්සුන් ඉදුරන් ඇති බව හා දමනය කොටගත් අධ්‍යාත්මික ලක්ෂණ පිළිඹිබු වේ.

උදා :- අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව, තොළුවිල බුද්ධ ප‍්‍රතිමාව

 

  • භූමි ස්පර්ශ මුද්‍රාව

මෙය ලාංකික බුදු පිළිම වල දැකීමට නොහැකිය. භාරතීය පිළිම කලාවේ දක්නට ලැබේ. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත දකුණු දණහිස උඩින් අත්ල ඇතුලට සිටින ආකාරයෙන් සියලූ ඇගිලි දිගහැර පහතට යොමුව තිබීම දැකිය හැකිය. ඉන් අර්ථගැන්වෙන්නේ මාර පරාඡය කොට බුද්ධත්වය ලබනා විට මාර සේනාව හමුවේ සියලූ දෙනා ඉවත්ව ගියද ඉතිරිව සිටි මිහිකතට කෘතගුණ සැලකීම මෙයින් අදහස්වේ.

උදා :- බොරෝ බුදුර් - ඉන්දුනීසියාව


  • වරද මුද්‍රාව

මෙයද ලංකාවේ බුදු පිළිම තුළින් සාක්ෂි හමු නොවේ. මෙහි ඉරියව් ලෙස දකුණු අත පහත් කොට ඉදිරියට දිගහැර අත්ල උඩු අතට හරවා ඇගිලි දිග හැර තිබීම මෙහි ලක්ෂණය වේ. කිසියම් වරයක් ඉල්ලීම මෙයින් අදහස් වේ.

උදා :- සාරානාත් කෞතුකාගාරයේ තබා ඇති සාරානාත් බුද්ධ ප‍්‍රතිමාව. අජන්තා ගල්ලෙන් පිළිම නේපාලයේ සවයම් භූතාන්ති ප‍්‍රතිමාව.

  • පරදුක්ඛදුක්ඛිත මුද්‍රාව

දෑත් පපුව මත තිබෙන මෙම මුද්‍රාව එතරම් සුලභ නොවේ .මහා කරුණා මුද්‍රාව යනුවෙන්ද හදුන්වය .පොලොන්නරු යුගයේ ගල් විහාරයෙන් ද ,තිස්සමහාරාමයේ යටාල චෛත්‍ය අසලින් ද මෙම මුද්‍රාව සහිත සෙල් පිළිම හමුවී ඇත .පොළොන්නරු යුගයේ ගල්විහාරයේ පර දුක්ඛ දුක්ඛිත මුද්‍රා බුද්ධ ප්‍රතිමා වහන්සේ.